ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව භාවිතා කළ ගුවන් යානා අංගන සහ ගුවන් යානා හැසිරවීමේ ප‍්‍රදේශ ශ‍්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය වෙත භාරදීම ඇරඹේ

රත්මලාන ගුවන් තොටුපල පරිශ‍්‍රයේ, ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව භාවිතා කරන ලද ගුවන් යානා අංගන සහ ගුවන් යානා හැසිරවීමේ ප‍්‍රදේශ ශ‍්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය වෙත භාරදීම මෙම සතියේ සිට ආරම්භ කෙරිණි. මෙම භාරදීමේ ක‍්‍රමවේදය සැලසුම් කිරීම සඳහා පසුගිය 2019 ජනවාරි මස 07 වන දින දෙපාර්ෂවයේම සහභාගීත්වයෙන් සම්මන්ත‍්‍රණයක් පවත්වන ලදී. ඉන් අනතුරුව ගොඩනැගිලි, උපකරණ නාමාවලි සහ ඊට අයත් බඩු භාණ්ඩ විශේෂඥයින්ගේ පරීක්‍ෂාවට ලක්කිරීම ආරම්භ විය.

ශ‍්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව අතර පැවති මුල් වටයේ සාකච්ජා වලින් අනතුරුව අවසන් එකඟතා ගිවිසුමට 2017 දෙසැම්බර් මස 12 වන දින කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය. එහි ප‍්‍රථිඵලයක් ලෙස මෙම ස්ථාන නැවත සිවිල් ගුවන් සේවා අධිකාරිය වෙත භාරදෙනු ලැබේ.

මේ අනුව රත්මලාන ගුවන් හමුදා කඳවුරු පරිශ‍්‍රයේ අළුතින් ඉදිකරනු ලබන ගුවන් යානා අංගන සහ ඒ ආශ‍්‍රිත පර්යන්තයන්හි ඉදිකිරීම් නිමවන තෙක්, මෙම ස්ථානයන්හි ස්ථාපිතව පැවති අංක 8 සැහැල්ලූ ප‍්‍රවාහන බලඝණය, හෙලිටුවර්ස් ආයතනය සහ අංක 61 වන බලපන්තිය යන ගුවන් හමුදා පියාසර අංශ තුන තාවකාලිකව වෙනත් ස්ථානයන් වෙත රැගෙන යන ලදී.

මෙම භාරදීමේ ක‍්‍රියාවළිය අවසන් වන විට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිවිල් ගුවන් සේවා අධිකාරිය වෙත ආසන්න වශයෙන් අක්කර 25 ක පමණ භූමි ප‍්‍රදේශයක් සහ ඊට අයත් ගොඩනැගිලි නැවත භාරදීමට නියමිතය. එසේම රත්මලාන ගුවන් තොටුපල පරිශ‍්‍රයේ ස්ථාපිතව පැවති ගුවන් හමුදා ගුවන් ගමන් අංශය රත්මලාන ගුවන් හමුදා කඳවුරු පරිශ‍්‍රයේ ස්ථාපිත කොට එමගින් හමුදා ගුවන් ගමන් කටයුතු සිදුකරනු ලබන අතර විකල්ප ගොඩනැගිලි සහ පහසුකම් සම්පූර්ණ වූ පසු මෙහෙයුම් ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.